Blue Flower

 

යම් අපේක්ෂිත ඉලක්කයක් සපුරා ගැනීම සදහා තම කණ්ඩායමේ සාමාජිකයින් හසුරවමින් ඔවුන්ට ගමන් කල යුතු මාර්ගය නිවැරදිව පෙන්වන්නා නායකයෙකි. ඔහුගේ අභිප්‍රාය වනුයේ ඔහුට අවශ්‍ය  කරන දේ තම කණ්ඩායමේ සාමාජිකයින් ලවා ඉටු කරවා ගැනීමයි.ඔහු සතුව පවතින්නේ නායකත්ව හැකියාවකි.

නායෙකයෙකු සතුව අවශ්‍යයෙන්ම පැවතිය යුතු ගුණාංග කිහිපයක් පවතී .ඒවා පහතින් සරලව දක්වා ඇත.එනම්,

සනිවේදන කුසලතා.

නායකයෙකු සතුව හොද සන්නිවේදන හැකියාවක් පැවතිය යුතුය.තම කණ්ඩායම් සාමාජිකයින් සමග හොදින් කතාබහ කරමින් ඔවුන්ගේ අදහස් විමසමින් කටයුතු කල යුතු වේ. එමෙන්ම වැදගත් කරුණක් වනුයේ තම අනුගාමිකයින්ට සවන් දීමයි. නායකයෙකු ලෙස අදහස් පල කිරීමට තමාට ඇති නිදහස ඔවුන්ටත් හිමි විය යුතු අතර ඔබ ඒවාට හොදින් සවන් දිය යුතු වේ.

අවංක බව.

එමෙන්ම ඔබ සිදු කරන කටයුත්ත තුලදී ඔබ ඔබටම අවංක විය යුතුය.කිසිවෙකු තමා දෙස බලා සිටින විට හෝ කිසිවෙකුත් ඔබ පිලිබදව අවධානයෙන් නොසිටින විට පවා ඔබ අවංකව කටයුතු කල යුතුය.

වගවීම.

නායකයෙකු ලෙස කටයුතු කිරීමේදී තමා තම අනුගාමිකයින් සමග සිදු කරන කටයුතු සදහා වගකීම භාරගත යුතුය.

ඔරොත්තු දීමේ හැකියාව.

ඕනෑම ගැටලුවකදී එයට මුහුණ දීමට හැකියාවක් නායකයා සතුව පැවතිය යුතුය. ගැටලුකාරී තත්ත්වයන් තුලදී අධෛර්‍යමත් නොවී එම තත්ත්වයන් විසදා ගැනීමට යුහුසුලුව කටයුතු කල යුතුය.

දැක්ම

අනාගතයේදී ලගාකරගත යුතු තත්ත්වය පිලිබද හොද අවබෝධයක් නායකයෙකු සතුව පැවතිය යුතුය.ඔහු එම තත්ත්වයට යාමට අවශ්‍ය මාර්ගය ඔස්සේ තම සාමාජිකයින්වද රැගෙන යනු ඇත.

නායකත්ව ශෛලීන් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. එනම්,

  1. කටයුතු කරන ආකාරය අනුව 
  2. චර්යාත්මක රටාව අනුව

කටයුතු කරන ආකාරය අනුව නායකත්ව ශෛලීන් කොටස් තුනකි.එනම්,

ඒකාධිපති නායකයා.

මෙවැනි නායකයින් බොහෝ විට තම අනුගාමිකයින්ගේ අදහස් වලට සවන් යොමු කරන්නේ නැත. ඔවුන් සෑමවිටම උත්සහ ගන්නේ තම අභිමතය පරිදි කටයුතු කිරීමටය.

ප්‍රජාතන්ත්‍රවාදී නායකයා.

මෙම නායකයින් කණ්ඩායම් සාමාජිකයින් අතර සමානාත්මතාව වැඩිදියුණු කිරීමට කටයුතු කරන අතර ඔවුන්ගේ අදහස්ද නිදහසේ හුවමාරු වීමට ඉඩ හරී. තීරණ ගැනීමේදීද සාමාජිකයින්ගේ අදහස් විමසයි.

නිර්වාධවාදී නායකයා.

මෙවැනි නායකයින් තම කණ්ඩායමෙහි සෙසු සාමාජිකයින් හට තීරණ ගැනීමට ඉඩ දෙන නමුත් ඔවුන්ට සම්පූර්ණ නිදහස ලබා නොදේ. සෑමවිටම සෙසු සාමාජිකයින් පිලිබදව අවධානමෙන් සිටී.

නායකත්වය යන මාතෘකාව පිලිබද කතාබහ කරන විට බොහෝ දෙනෙක් සිතනුයේ එය අදාල වන්නේ කලමණාකරුවෙකුට, ආයතනයක ඉහල තනතුරක් දරන පුද්ගලයෙකුට නැතහොත් සේවකයින් බොහෝ දෙනෙකු සිටින නිලධාරියෙකුට බවයි. නමුත් සැබැවින්ම එය එසේ නොවේ. මෙම සමාජයේ සිටින සෑම පුද්ගලයෙකුටම නායකත්වය යන ගුණංගය අවශ්‍ය වේ. එයට හේතුව වනුයේ කිසියම් පුද්ගලයෙකුට සාර්ථක වීමට අවශ්‍යනම් ඔහු සතුව නායකත්ව හැකියාව පැවතිය යුතු වීමයි.

ඔබ තනිවම ඔබේ නායකත්ව හැකියාව ගොඩනංවා ගත යුතු වේ. ඔබ කවුරුන්ද යන වග හා ඔබට යා යුත්තේ කොතැනටද යන වග ඔබ තනිවම වටහා ගත යුතු වේ.ස්වයං නායකත්වය යනුවෙන් අදහස් කරනුයේ ඔබේ අරමුණු ඉටුකර ගැනීම සඳහා ඔබ විසින් ඔබටම බලපෑම් කරගන්නා ක්‍රියාවලියකි.

ස්වයං නායකත්වය පිලිබද කතා කිරීමේදී වඩාත් දැඩි ලෙස අවධානය යොමු කල යුත්තේ අප තුල පවතින සිතුවිලි දෙසටයි. ඕනෑම කටයුත්තක් සිදු කිරීමේදී එය සාර්ථකවීමට හෝ අසාර්ථකවීමට බලපාන්නේ අප තුල පවතින සිතුවිලිය. සිතුවිලිද ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදා පෙන්විය හැකිය.එනම්,

  1. පොහොසත් සිතුවිලි.
  2. දුප්පත් සිතුවිලි.

පොහොසත් සිතුවිලි යනු අපගේ නායකත්ව හැකියාව වැඩිදියුණු කර සාර්ථකත්වය කරා අප රැගෙන යන මාර්ගයකි. නමුත් දුප්පත් සිතුවිලි තුලින් සිදු වන්නේ අපගේ නායකත්ව හැකියාව හැකිතාක් දුරට යටපත් වීමයි.එලෙස අපගේ නායකත්ව හැකියාවන් යටපත් වීමෙන් සාර්ථකත්වය කරා යන ගමන් මාර්ගය අවහිර වේ. එනිසාවෙන් අප සිදු කල යුත්තේ අප තුල පවතින දුප්පත් සිතුවිලි හැකිතාක් දුරට අවම කරගනිමින් අප තුල නොමැති පොහොසත් සිතුවිලි ගොඩනංවා ගැනීමයි.

දුප්පත් සිතුවිලි

පලමුව අප තුල පවතින දුප්පත් සිතුවිලි මොනවාදැයි කියා සොයා බලමු. අප තුල ප්‍රධාන වශයෙන් දුප්පත් සිතුවිලි 7ක් පවතී.

 

  • තමාට කිසිදු දෙයක් සිදු කිරීමට නොහැකි බව හැගෙන බලාපොරොත්තු රහිත සිතුවිලි.

 

මෙවැනි සිතුවිලිවලින් යුක්ත පුද්ගලයෙකුට කිසිදු කටයුත්තක් හරියාකාරව සිදුකරගැනීමට නොහැකි වේ. එයට හේතුව වන්නේ ඔවුන් සෑම විටම තමාට කිසිවක් බැහැ යන මානසිකත්වයේ සිටීමයි. මොවුන්ට කිසිදු බලාපොරොත්තුවක්ද නොමැත. එම නිසාවෙන් සාර්ථකතවය යන්නද මොවුන්ට සිහිනයකි.

 

  • සෑම වැඩක්ම කල්දමන කම්මැලි සිතුවිලි.

 

අද කලයුතු වැඩකටයුතු අද දිනම සිදු නොකර පසුවට කල් දැමීමට අනුබල දෙනු ලබන සිතුවිලි ඉතා අයහපත්ය. එවිට අපහට කිසිදු වැඩක් නියමිත වේලාවට සිදුකර ගැනීමට නොහැකි වනු ඇත. කාලය ඉතාමත් වටිනා සම්පතකි. මෙලෙස සෑම වැඩක් කල් දැමීම තුලින් සිදුවන්නේ කාලය අපතේ යෑමයි.

 

  • මේ තමයි මගේ විදිහ මම වෙනස් වෙන්න වුවමනා නැහැ කියා හැගෙන සිතුවිලි.

 

බොහෝ පුද්ගලයින්  ඔවුන්ගේ පුරුදු වෙනස් කරගැනීමට අකමැත්තක් දක්වනවා. එය අයහපත් පුරුද්දක්නම් අපව තල්ලු වන්නේ අසාර්ථකත්වය දෙසටමයි. එම නිසා අප සෑමවිටම කලයුත්තේ අපගේ අයහපත් පුරුදු හදුනාගෙන ඒවා අපෙන් ඉවත් කර ගැනීමට කටයුතු කිරීමයි.

 

  • සෑම තත්ත්වයකදීම නැවත නැවතත් එකම විසදුම සපයන ප්‍රතිචක්‍රිකරණ සිතුවිලි.

 

ජීවිතයේදී හෝ රැකියාවේදී පැමිණෙන ගැටලු වලදී ඔබ සෑම විටම ලබා දෙන්නේ එකම විසදුමක්නම් එය නිවැරදි ක්‍රියාවක් නොවේ. එම විසදුම පලමු ගැටලුවේදි සාර්ථක වූවත් ඉන්පසුව පැමිණෙන ගැටලුවේදිත් එම විසදුමම උත්සහ කර බැලුවහොත් එය අසාර්ථක වන්නට පුලුවනි.එම නිසා විවිධ විසදුම් උත්සහ කල යුතුය.

 

  • තමන් ගැන පමණක් සිතන ආත්මාර්ථකාමී සිතුවිලි.

 

ඔබ සෑම විටම සිතන්නේ ඔබ ගැන පමණක්නම් එයද ඉතාමත් අයහපත්ය. ඔබ තමා ගැන පමණක් නොව අනෙකා ගැනද සිතා කටයුතු කල යුතුය. එවිටයි ඔවුන්ගේද සහයෝගය අපට හිමි වන්නේ .

 

  • වෙනකවුරු හරි කරයි කියලා හිතන එක්තැන් වුන සිතුවිලි.

 

ඇතැම් පුද්ගලයින් තමාට පැවරුණු කාර්යයද වෙනකෙකුට පැවරීමට හෝ වෙනකෙකු සිදු කරන තෙක් හෝ බලන් සිටිනවා අපට දක්නට ලැබේ. නමුත් අප කල යුත්තේ අපට පැවරුණු කර්යයන් එකක්වත් අතනොහැර හා කිසිවෙකුටත් භාර නොදී අප විසින්ම සිදු කිරීමයි.

 

  • ආරම්භ කරන කටයුත්ත පවත්වාගෙන යන්නේ කෙසේද යන්න නොසිතන අසම්පූර්ණ සිතුවිලි.

 

කිසියම් පුද්ගලයෙකු යම් කටයුත්තක් ආරම්භ කරන විට එය ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිලිබදව නිසි අවබෝධයක් නොමැතිව කිසිදු සැලසුමක් නොමැතිව සිදුකරගෙන යෑම වේ. එවිට ඔබ ආරම්භ කරන කිසිදු වැඩක් හරියාකාරව සිදුකරගැනීමට නොහැකි වේ.

අප තුල එලෙස පවතින දුප්පත් සිතිවිලි නිසාවෙන් අප සෑම විටම අසාර්ථකත්වයට පත් වේ. අප අප තුල පවතින දුප්පත් සිතිවිලි ඉවත් කරගෙන පොහොසත් සිතිවිලි ලගා කරගත යුතුය.

පොහොසත් සිතුවිලි

 අපව එලෙස සාර්ථකත්වය කරා රැගෙන යන පොහොසත් සිතුවිලි මොනවාදැයි කියා පහත දක්වා තිබේ.

 

  • හොද නිරීක්ෂකයෙකු වන්න.

 

ඔබ උකුස්සෙකු මෙන් තීක්ෂණ බුද්ධියක් සහිතව කටයුතු කල යුතුය. සෑම දෙයක් පිලිබදව විමසිලිමත් විය යුතුය. ඔබ අවට පවතින අවස්ථාවන් හා තර්ජන පිලිබද හොද අවධානයෙන් සිටිය යුතුය.

 

  • ඔබ ඔබ දෙසම නායකයෙකු ලෙස  බැලිය යුතුය.

 

ඔබ අනෙක් අය ඉදිරිපිට නායකයෙකු ලෙස පෙනී සිටීමට පෙර තමාටම නායකයෙකු විය යුතුය. තනිවම තමන්ගේ නායකත්ව හැකියා වැඩි දියුණු කර ගත යුතුය.

 

  • පෙර සුදානමකින් වැඩ කරන්න.

 

යම් කටයුත්තක් ආරම්භ කරන විට ඊට පෙර සුදානම් වන්න. එම කටයුත්ත සිදු කරන විට යම් අතපසු වීමක් සිදු වූ පසු නිදහසට කරුණු කීමට බලා නොසිට එවැනි අවස්ථාවන්ට පෙර සිටම සූදානම් වන්න.

 

  • වගකීමක් සහිත පුද්ගලයෙකු බවට පත් වන්න.

 

වගකීම් දකින්න. එමෙන්ම වගකීම් ගන්න. කිසියම් ප්‍රශ්නයක් දුටු විට අනෙක් අය එය විසදන තෙක් බලා නොසිට ඔබට ඒ පිලිබදව කල හැක්කේ කුමක්දැයි කියා සිතන්න. එම ගැටලුවට විසදුමක් සොයා ගන්න උත්සහ කරන්න.

 

  • වෙනස් දෙයක් කරන්න උත්සහ කරන්න.

 

සාම්ප්‍රදායිකව කටයුතු කිරීමට උත්සහ නොගන්න. සෑම විටම වෙනස් දෙයක් කිරීමට උත්සහ ගන්න. ඔබ කරන දෙයින් ඔබ බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබේනම් වෙනස් විය යුත්තේ කොතනදැයි වෙනස් කල යුත්තේ මොනවාදැයි කියා සිතා බලන්න.

 

  • අවධානය යොමු කරන්න.

 

ඕනෑම දෙයක් සිදු කිරීමේදී අවධානය යනු ඉතා අත්‍යවශ්‍ය දෙයකි. දුෂ්කර අවස්ථාවන් වලදී නොනැවතී ඉදිරියට යාමට හොද අවධානයක් අප සතුව පැවතිය යුතුය.

 

  • අගය කරන සිතිවිලි.

 

ඔබ අසාර්ථක වන විට හෝ යම් අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දීමට සිදු වන විට ඒ පිලිබදව කණගාටු නොවී එම අවස්ථාවෙන් තමා ලද දේවල් පිලිබදවත් ඉගෙනගත් දෑ පිලිබදවත් මොනවාදැයි කියා සිතා බලන්න. දෙවනුව ඒ අවස්ථාවේදී තමාට මීට වඩා හොදින් කල හැකිව තිබූයේ කුමක්ද කියා සිතා බලන්න.

මෙලෙස ඉහත දක්වා ඇති අප තුල පවතින දුප්පත් සිතිවිලි අප තුලින් තුරන් කර දමමින් පොහොසත් සිතිවිලි වර්ධනය කරගැනීමෙන් සියල්ලන්ටම නායකයෙකු විය හැකියි. නායකත්වය යනු ඉහල ආයතනයක සිටින ප්‍රධානියෙකුට පමණක් සීමාවූවක් නොවේ. අප ඕනෑම අයෙකුට නායකයෙකු විය හැකිය. එමෙන්ම නායකත්වය යන ගුණාංගය සාර්ථකත්වය දෙසට පියවර තැබීමටනම් අපට අත්‍යවශ්‍යම ගුණාංගයකි.

මෙහිදී ඉතා වැදගත් සංකල්පයක් වන්නේ ස්ථානීය නායකත්වය යන්නයි. ස්ථානීය නායකත්වය යනු තමන්ගේ කණ්ඩායම් නායකයින්ගේ හා සංවර්ධන මට්ටම අනුව විවිධ නායකත්ව ශෛලීන් අනුගමනය කරන නායකයින්ය.ස්ථානීය නායකත්වය නායකත්වයේ ඵලදායී ක්‍රමයකි. එය සමස්ත කණ්ඩායමේ අවශ්‍යතාවන්ට අනුවර්තනය වෙමින් ඔබ කටයුතු කරන සමස්ත සංවිධානයටම වාසි ගෙන දෙනු ලබයි. මෙම ස්ථානීය නායකත්ව සංකල්පය හදුන්වා දෙනු ලැබූයේ පෝල් හර්සි හා කෙන් බ්ලැන්චාර්ඩ් විශේෂඥයින් දෙදෙනාය.

ස්වයං නායකත්වය තුලින් සිදුවන්නේ ඔබ සැබැවින්ම ඔබවම හදුනාගැනීමයි. ඔබ කවුරුන්ද , ඔබට යා යුත්තේ කොතනකටදැයි යන්න හදුනාගැනීමට ස්වයං නායකත්වය ඔබට උපකාරී වේ. ස්වයං නායකත්වය යනු ඔබේ අරමුණු සාක්ෂාත් කරගැනීමට ඔබ ඔබටම බලපෑම් කරගැනීමයි.

ස්වයං නායකත්වය ඔබේ ජීවිතයේ, ඔබේ සෞඛ්‍යය, ඔබේ වෘත්තිය සහ ඔබේ සබඳතාවල සියලු අංශ කෙරෙහි බලපෑම් කරයි. ස්වයං නායකයින් අරමුණු කර ගත් ක්‍රියාමාර්ග ගැනීමට ස්වයංව අභිප්‍රේරණය වන අතර එබැවින් වඩා හොඳ නායකයින්, ව්‍යවසායකයින් සහ කණ්ඩායම් සාමාජිකයින් බවට පත් කරති. ස්වයං නායකත්වය අස්ථාවර, අවිනිශ්චිත, සංකීර්ණ හා අපැහැදිලි ලෝකයකට විසඳුමකි

ස්වයං නායකත්වය යනු ඔබේ ඇතුලත නායකත්වයයි. ඔබ ඔබවම යම් සීමාවකට පාලනය කරගනී. ඔබේ අරමුණු සාක්ෂාත් කරගැනීමට ඔබ තුල ඇති දුර්වලතා ඉවත් කරගෙන ඔබ තුල ඇති ශක්තීන් වැඩිදියුණු කරගනී. ඒ සදහා ඉහත දැක්වූ  සිතුවිලි ඔබට උපකරී වේ. ඔබ තුල මෙතෙක් පැවතියේ දුප්පත් සිතිවිද යන්න හදුනා ගන්න. පසුව ඒවා ඔබ තුලින් ඉවත් කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඔබ තුල දැනටමත්  පවතින පොහොසත් සිතුවිලි මොනවාදැයි හදුනාගෙන ඒවා වැඩිදියුණු කරගන්න. ඔබතුල නොමැති පොහොසත් සිතිවිලි ඔබ තුල ස්ථාපිත කරගන්න. අනෙක් අයට නායකයෙකු වීමට පෙර ඔබ ඔබටම නායකයෙකු වන්න. ඉන්පසු ඔබට සාර්ථකවීමට හා ශ්‍රේෂ්ඨ නායකයෙකු වීමට හැකි වේවි.